වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී 2026 ජනවාරි 16 දින පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් පරිදි කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ හා කොළඹ මධ්‍යම දිස්ත්‍රික් 1 භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ඩී ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කරනු ලැබුවේ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගිනි.
එම විමර්ශන වල ප්‍රථිපලයක් ලෙස අපරාධය සිදු කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවෙකු උඩවලව ප්‍රදේශයේ සිටින බවට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද සාර්ථක තොරතුරක් මත එම සැකකරු 2026.03.09 දින උඩවලට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය.
ඔහු වයස අවුරුදු 26ක් වන මිරිස්යාය, කොළඹගේආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. සැකකරුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත අපරාධය සිදුකිරීමේදී සැකකරු භාවිතා කර ඇති ජංගම දුරකතන 02ක් ඇතුළු දේපළ ද, විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකරු සමඟ එම නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලිස් ස්ථානයට භාරදී ඇත.
මෙම අපරාධය සිදු කිරීම සඳහා පැමිණි අනෙක් වෙඩික්කරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් 2026.03.03 දින දහවල් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 830 ක් සමඟ අත්අඩංගුවට ගත් අතර එම සැකකරු අද දින මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.