“බුද්ධරශ්මි” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි.

කොළඹ හුණුපිටිය ගංගාරාම “බුද්ධ රශ්මි” වෙසක් කලාපයට සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයට සමගාමීව, ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන “වෙසක් බැති ගී සරණිය” 2026.05.30 වන දින පස්වරු 6.30 ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා  මෙන්ම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ බැති ගී කණ්ඩායම් මෙන්ම කොළඹ ප්‍රදේශයේ පාසල් කිහිපයක සිසු දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම භක්ති ගීත ප්‍රසංගය, එළඹෙන ජූනි මස 02 වනදා දක්වා සෑම දිනකම පස්වරු 6.30 සිට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මීට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සල 2026.09.30 වන දින රාත්‍රී 7.00 ට ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්විය. 

වයිනේ නන් දෙසින් පැමිණි දස දහසකට අධික ජනතාවක් ඊට එක්ව සිටි අතර බත් දන්සල ජූනි 02 දක්වා පැවැත්වේ. එමෙන්ම වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සලක්ද  පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ කෙරිණි.

ජනාධිපති කාර්ය මණ්ඩලයේ සෘජු දායකත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු අවට රාජ්‍ය ගොඩනැඟිලි සහ මාර්ග විදුලි බුබුලුවලින් අලංකාරවත් කර ඇති අතර, මනරම් වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් ද මේ දිනවලදී මහජනතාව සඳහා විවෘතව පවතී.

Scroll to Top