පොදු ජන සිත්තුල ආගමානුසාරයෙන් ආකල්පමය වෙනසක් ඇති කිරීම සමාජය වරදින් මුදවාගැනීම සඳහා වැදගත් පියවරක් වන බැවින් ශ්‍රී ලංකා පොලිසිය වන අප වෙසක් පොහෝ දිනය අරමුණුකරගනිමින් පසුගිය දින කිහිපය තුල දිවයින පුරා විවිධ වූ ආගමික වැඩසටහන් පවත්වන ලදී.
ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරනු ලබන මෙවර වෙසක් උත්සවයට සමගාමීවද පොලිස් මූලස්ථානය පරිශ්‍රයේ උත්කර්ෂවත් බැති ගී සරණියක් පවත්වා එය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව ඔබවෙත ගෙන ඒමට කටයුතු සංවිධානය වූයේද එහි එක් ප්‍රධාන පියවරක් වශයෙනි.
ඒ් අනුව පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමයේ මනා සංවිධානය යටතේ මෙවර “වෙසක් බැති ගී සුගායනය- 2026” , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.06.01 වන දින සවස පොලිස් මූලස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.
වැඩමවාවදාල ගරු සංඝරත්නයේ ආශිර්වාද සමඟින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්රමුඛ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා ආරාධිත ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් සවස 07.00 ට පමණ ඇරඹුනු මෙම බැති ගී සරණිය මියුරු හඩ ඇති පොලිස් නිලධාරීන්ගෙන් හා පොලිස් බටහිර තූර්ය වාදන වෘන්දයේ සංගීතයෙන් පුරා හෝරා 2ක් පුරා රසගැන්වුනි.
පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනාංගයන් මෙන්ම ප්‍රවීන ගායකයින් වන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, පොලිස් කොස්තාපල් බුද්ධික උෂාන් යන නිලධාරීන් ඇතුළු ගීත ගායනයෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළ ඉමහත් ප්‍රසිද්ධියක් අත්කරගෙන ඇති නිලධාරීන්ගේ ගීත ගැයුම් මෙහිදී කාගෙත් සිත් අමන්දානන්දයට පත්කිරීමට සමත් විය.
පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමයේ සභාපති ලෙස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ උපසභාපති ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙන්ම ලේකම් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාගේ උපදෙස් හා සෘජු මෙහෙයවීම යටතේ එලෙස අති සර්ථකව පැවැත්වුනු මෙවර “වෙසක් බැති ගී සුගායනය” පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය, පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය, සන්නිවේදන කොට්ඨාසය ඇතුලු පාර්ශව රැසකගේ සහයෝගය ඇතිව Sri Lanka Police නිල Facebook පිටුව ඔස්සේ සජීවීව විකාශනය කරන ලදී.