මෙරට පුද්ගලයින් රථ වාහන වෙනුවෙන් රක්ෂණ සමාගම් මගින් වාර්ෂිකව ලබාගන්නා ප්ලාස්ටික් රක්ෂණ කාඩ්පත ඉදිරියේදී ඉවත්කෙරෙනු ඇත. ඒ් වෙනුවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ මැදිහත් වීම මත සකස්කළ නව ස්ථීර ඩිජිටල් රක්ෂණ කාඩ්පතක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.
මාර්ගයේදී රක්ෂණ කාඩ්පත පරීක්ෂා කරනු ලබන පොලිස් නිලධාරියා මෙන්ම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරි මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙම නව වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත්කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් සංවිධානය කළ හමුවක් 2026.01.07 වන දින සවස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි.
ගරු පාර්ලිමේන්තු කටයුතු හා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, ගරු පාර්ලිමේන්තු කටයුතු හා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීිතිඥ වීරසූරිය මහතා මෙම හමුව සඳහා මූලිකත්වය ගෙන සහභාගී වූ අතර, රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වත්මන් සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා විසින් එහිදී මෙම නව ඩිජිටල් ක්‍රියාවලියේ අරමුණු හා ප්රතිලාභ පිළිබඳව දැනුවත් කෙරෙන ප්‍රධාන දේශනය පවත්වන ලදී.
මේ වන විට භාවිතයේ පවතින ප්ලාස්ටික් රක්ෂණ කාඩ්පත් වාර්ෂිකව කල් ඉකුත්වීමෙන් පරිසරයට එකතුවී සිදුවන පරිසර දූෂණය, නව කාඩ්පත් සකස්කිරීමට වැයවන අධික මූල්‍ය පිරිවැය වැනි රක්ෂණ ක්ෂේත්රයේ කාඩ්පත ඇසුරින් අවස්ථානුකූලව ඇතිවන වෙනත් ගැටළු රැසක් විසඳාගැනීමේ හැකියාව මෙම නව ක්‍රමය ඇසුරින් උදාවනු ඇති බව එතුමා පොලිස් නිලධාරීන් අමතා ප්‍රකාශ කළේය.
වැඩිදියුණුකළ ශ්‍රී ලංකා පොලිසියේ රිය අනතුරු දත්ත කළමනාකරණ පද්ධතිය පහසුවෙන් පරිහරනය කිරීමට ඉඩ සලසමින් හා මෙම නව රක්ෂණ ඊ-කාඩ්පත භාවිතා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලමක් ලෙස ටැබ් යන්ත්‍ර 500ක් බස්නාහිර පළාතේ රථවාහන පොලිස් නිලධාරීන් අතර බෙදාදීම ආරම්භ කරමින් වැඩසටහන අතරතුර ටැබ් යන්ත්‍ර 150 ක් සංකේතාත්මක පොලිස් නිළධාරීන් අතර බෙදා දීම සිදුවිය.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය, ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, ශ්‍රී ලංකා රක්ෂණ කරුවන්ගේ සංගමයේ සභාපති ලසිත විමරත්න මහතා සහ රක්ෂණ සමාගම්වල විධායක නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් මෙම හමුව සඳහා සඳහා සහභාගී වූහ.