හැටන් කොට්ඨාසයේ පොල්පිටිය ග්‍රාමය වෙනුවන් ඉදිකළ නව පොලිස් ස්ථානය 2026.02.06 වන දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණි.
නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා, නුවරඑලිය දිසාව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා, හැටන් කොට්ටාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා ඇතුලු හැටන් පොලිස් කොට්ටාශයේ සියලුම ස්ථානාධිපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් රැසක් විවෘත කිරීමේ උත්සව සභාවට සපැමිණ සිටි අතර පොල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක පි.එච්.එම්.එන් උපුල් කුමාර මහතා විසින් සැවොම ගෞරවාන්විත පිළිගන්නා ලදී.
පොලිස්පතිතුමන් උත්සව සභාව අමතමින් සියලු පහසුකම් සහිත ස්ථිර, නවීන ගොඩනැගිල්ලක ස්ථාපනය කර ජනතා අයිතියට පත් කිරීමට ලැබීම පිළිබඳව සිය නිහතමානී සතුට ප්‍රකාශකළ අතර ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පර්චස් 78.43 ක භූමිය පවරා ගෙන 2025 නොවැම්බර් මාසයේ සිට මෙලෙස නව පොලිස් ස්ථානයක් ලෙස ගොඩනැංවීම වෙනුවෙන් සහයෝගය දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රධාන සියලුම පාර්ශව වෙත සිය ස්තූතිය පළකලේය.
2021 වසරේදී කුලී පදනම මත ලබාගත් කුඩා නිවසක පවත්වාගෙන යමින් අවම ඉඩ පහසුකම් යටතේ වුවද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 07ක වෙසෙන 9,000කට අධික පිරිසක් වෙනුවෙන් සුවිශාල පොලිස් සේවයක් සැලසූ පොල්පිටිය පොලිස් ස්ථානය, මේ අනුව මෙතැන් සිට සියලු පහසුකම් සහිතව මැනවින් සකස්කළ පොලිසියටම වෙන්වූ භූමියක වඩාත් කාර්යක්ෂමව මහජන මෙහෙවරට කැපවනු ඇත.