78 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය – ශ්‍රී ලංකා පොලිසිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.02.04 වන දින කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ පැවැත්වුනි. 

1949 වසරේ පළමු නිදහස් දින සැමරුම් උත්සවයේදී පටන් මේ දක්වා පැවැත්වූ සෑම නිදහස් දින සැමරුම් උත්සවයකදීම මෙන්ම මෙවර නිදහස් දින උත්සවයේද ආරක්ෂාව තහවුරු කරමින් ශ්‍රී ලංකා පොලිසිය, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නායකත්වය යටතේ ඉමහත් අභිමානයෙන් යුතුව නිදහස් දින පෙළපාලිය සඳහා එක්විය.

පොලිස් යතුරුපැදි පෙරටු කරගනිමින් අභිමානවත්ව පැමිණි අතිගරු ජනාධිපතිතුමන් ජාතික ධජය එසවීමත් සමඟ නිදහස් දින සැමරුම් උළලේ කටයුුතු ආරම්භ විය.

ජනපතිතුමන්ගේ ආමන්ත්‍රණයෙන් අනතුරුව 78 වන නිදහස් දින සැමරුම් උළලේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික ශිෂ්‍ය භට බලකාය ඇතුලත් සම්මාන පෙළපාලිය ආරම්භ විය.

1866 සැප්තැම්බර් 03 වන දින පිහිටුවන ලද මෙරට නීතිය සාමය සුරක්ෂිත කිරීමේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා පොලීසියේ සමස්ථ සම්මාන පෙළපාලිය සඳහා අණ ලබාදෙමින් පෙරටුව Henk නම් අසුපිට ගමන් කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතාය. දෙපසින් පරිවාර අශ්වයින් පිට මත නැගී අසිපත් සහිතව  පොලිස් අධිකාරි ලසිත් අබේවික්‍රම මහතා, පොලිස් අධිකාරි ඉසුරු නිශාන්ත මහතා සහ සහකාර පොලිස් අධිකාරි රුචිර කරුණානායක මහතා ගමන් කරන ලදී.

ඉන්පසුව, වසර 158 ක ප්‍රෟඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසිය ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී යන ආදර්ශ පාඨය හා ශක්තිය පිළිබිඹු වන හස්තියාගේ රුව නිර්මිත පොලිස් ධජය රැගෙන පෙරටුව ගමන් කරන ලද්දේ සහකාර පොලිස් අධිකාරි චාමර හේරත් මහතාය. දෙපසින් අසිපත් සහිතව උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් ගමන් කළහ. 

ඉන් අනතුරුව 1873 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ පැරණිතම ආරක්ෂක අංශ තූර්ය වාදක කණ්ඩායම මෙන්ම ප්‍රථම නිදහස් සැමරුම් උත්සවයේ ජාතික ගීය අභිමානයෙන් යුතුව වාදනය කළ පොලිස් තූර්යවාදක කණ්ඩායම ඩ්‍රම් මේජර් පොලිස් කොස්තාපල් පියුමාල් තිලකරත්න නිලධාරියාගේ මෙහෙයවීම යටතේ වාදනයෙන් එක්වෙමින් සහකාර පොලිස් අධිකාරි සමීර රාජපක්ෂ මහතා විසින් අණ දෙනු ලැබූ ශ්‍රී ලංකා පොලිස් බලඇණිය ඉදිරියට රැගෙන යන ලදී. පසුපසින් ප්‍රධාන සරඹ උපදේශක මහ සැරයන් පියසිරි විජේසුන්දර නිලධාරියා ගමන් කළේය.

ඉන් අනතුරුව කාන්තා සහකාර පොලිස් අධිකාරි ඉනෝකා ලියනගේ මහත්මිය විසින් අණ ලබා දුන් කාන්තා පොලිස් බළඇණිය ගමන් කරන ලදී. ( ආරම්භය – 1952 ජනවාරි 01)

1983 වර්ෂයේ පිහිටුවන ලද දකුණු ආසියාවේ විශිෂ්ඨතම අතුරු හමුදාව ලෙස විරුදාවලිය ලත් පොලිස් විශේෂ කාර්ය බලකාය අභිමානයෙන් යුතුව සම්මාන පෙළපාලියට එක්ව ජනාධිපතිතුමන් වෙත උත්තමාචාර පළ කල අවස්ථාව උදාවූයේ ඉන් අනතුරුවය.

නියතයි ජය ආදර්ශ පාඨය කරගත් පොලිස් විශේෂ කාර්ය බලකා ධජය ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන පියසේන විසින් රැගෙන යන ලදී.

ඩ්‍රම් මේජර් පොලිස් කොස්තාපල් සුනෙත් පෙරේරා විසින් මෙහෙයවන ලද පොලිස් විශේෂ කාර්ය බලකා තුර්ය වාදක කණ්ඩායම පෙරටු කර ගනිමින් සහකාර පොලිස් අධිකාරී ගයාන් සංජීව විසින් අණදුන් පොලිස් විශේෂ කාර්ය බලකා ඇණිය, සම්මාන පෙළපාලියේ අභිමානය විහිදා දක්වන ලදී. ඇණිය පසුපසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන සරඹ උපදේශක ලෙස පොලිස් සැරයන් චමින්ද හේරත් ගමන් කළේය.

පොලිස් සම්මාන පෙළපාලියේ වර්ණවත්ම අවස්ථාව වන පොලිස් අධිකාරි මිනුර සෙනරත් මහතාගේ අණ පෙරටුකරගත් පොලිස් අශ්වාරෝහකයින් පෙළපාලියට එක්වූයේ ඉන් අනතුරුවය. 1921 වර්ෂයේදි බ්‍රිතාන්‍ය ජාතික පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගෙන් ආරම්භකළ පොලිස් අශ්වාරෝහක රාජකාරිය පොලිස් රාජකාරිය සඳහා අශ්වාරෝහකයින් යොදා ගන්නා ලද ලෝකයේ දෙවන අවස්ථාව ලෙස ඉතිහාසගතව ඇත.

මෙවර ශ්‍රී ලංකා පොලිසියේ නිදහස් දින පෙළපාලි පුහුණුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු සම්පත් ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරුනු අතර පොලිස් සම්මාන පෙළපාලියේ විස්තර කථන පිටපත සැකසීම හා නිවේදනය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක නිමල් අබේසිංහ මහතා විසින් සිදුකරන ලදී.

Scroll to Top