මෙරට 37 වන පොලිස්පතිතුමන් සිය ධූරයේ රාජකාරි නිල වශයෙන් අරඹයි

මෙරට නීතිය හා සාමය සුරැකීමට බැඳී සිටින ශ්‍රී ලංකා පොලිසිය සඳහා අවශ්‍ය විශිෂ්ඨ නායකත්වය ලබාදීමේ භාර්යදූර්ය වගකීම නිල වශයෙන් භාරගනිමින්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.08.14 වන අද දින උදෑසන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.

පොලිස්පතිතුමන්, පොලිස් සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධරයන්ගේ උත්තමාචාර මධ්‍යයේ කොළඹ 02 පෙදෙසෙහි පිහිටන පොලිස් මූලස්ථාන පොලිස්පති කාර්යාලය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතව මහාසංඝරත්නයේ සහ සර්වආගමික පූජකවරුන්ගේ ආශිර්වාද ලබමින් සුභ මොහොතින් රාජකාරී ආරම්භ කර අනතුරුව මෙම කෙටි උත්සව අවස්ථාව සඳහා සපැමිණි සියලු පාර්ශව අමතා සිය අදහස් දැක්වීය. 

එහිදී සිය පොලිස් දිවියේ විවිධ අභියෝග, කඩඉම් සිය කැපවීමෙන් අධිෂ්ඨානශීලීව පසුකර පියවරෙන් පියවර මෙතෙක් පැමිණි ගමන්මග පිළිබඳව මතකාවර්ජනයක නිරතවූ පොලිස්පතිතුමන් අපරාධ මැඩලීමේ ක්‍රීයාවලිය,පොලිස් සේවය වඩාත් ශක්තිමත්ව සැලසුම්සහගතව තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඇපකැපවී ක්‍රියාකරන බව ප්‍රකාශ කරන ලදී.

එමගින් ශ්‍රී ලංකා පොලිසිය මහජනයා අතර පෙරටත් වඩා කීර්තිමත් අභිමානවත් සේවයක් බවට පත්කිරීමේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කියා සිටියේය.

Scroll to Top