2025.11.05 දින සිට තෙදිනක් පුරා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු 2025 අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාලිය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.11.07 දින සවස පැවති සමාප්ති උළෙලින් නිමා විය.
කණ්ඩායම් 104 ක් අතරින් පිරිමි අංශයෙන් අවසන් මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ හා ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිරිමි කණ්ඩායම් අතර අවසන් මහා තරඟය මෙන්ම කාන්තා අංශයෙන් අවසන් මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කාන්තා හා අනුරාධපුර පොලිස් කොට්ඨාස කාන්තා කණ්ඩායම් අතර අවසන් මහා තරඟයේ ආශ්වාදය විඳගැනීමේ අවස්ථාව එහිදී පැමිණ සිටි පිරිසට හිමිවිය.
පිරිමි අංශයේ අවසන් තරඟයේදී පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම වට 3 ට 2 ක් ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය පරඳා තියුණු ජයක් ලැබීය. කාන්තා අවසන් තරඟයේදී අනුරාධපුර පොලිස් කොට්ඨාස කාන්තා කණ්ඩායම 3-0 ක් ලෙස පරාජය කළ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කාන්තා කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් විය.
උළෙල සාර්ථකව නිමා වෙමින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති හා පොලිස් වොලිබොල් සංගමයේ සභාපති පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ජයග්‍රාහක කණ්ඩායම් වෙත කුසලාන හා සහතික පත්‍ර බෙදාදෙමින් සුභ පැතුම් කළ අතර ඒ් සඳහා විශේෂ අමුත්තන් ලෙස උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මහතා සහ ශ්‍රී ලංකවේ අංක 1 ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන ජේසන් ලියනගේ මහතා එක්විය.
දක්ෂතම පිට පළාත් පිරිමි කණ්ඩායමට හිමි කුසලානය නුවර කොට්ඨාස කණ්ඩායමත් දක්ෂතම පිට පළාත් කාන්තා කණ්ඩායම හිමි කුසලානය මාතර කොට්ඨාස කණ්ඩායමත් ලබාගන්නා ලදී.
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ 79686 ටෙරන්ස් ක්‍රීඩකයා කුසලානය හා සහතික පත්‍රය ලබාගත්තේය. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සැරයන් 6105 P.A.V චමරිකා ක්‍රීඩිකාව ඇයට හිමි කුසලානය හා සහතික පත්‍රය ලබාගත් අතර දක්ෂතම ප්‍රහාරක, දක්ෂතම පන්දු පිරිනැමීම, දක්ෂතම පන්දු ලබාගැනීම දක්ෂතම පන්දු සැකසීම, දක්ෂතම පිටිය රැකීම යන දක්ෂතාවයන් සඳහාද පිරිමි හා කාන්තා වශයෙන් පදක්කම් සහ සහතික පත්‍ර ලබාදීමද සිදුවිය.
ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී සමන්තද සිල්වා මහතා, විශේෂ ආරක්ෂක හා මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතා, පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රෂාන්තද සිල්වා මහතා, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ද.එස් පින්නදූව මහතා, පොලිස් වොලිබෝල් සංගමයේ ලේකම් ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේමාන්න මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.