කීර්තිමත් පොලිස් සේවය සහ ඉටුකල මහජන යුතුකම අගයා ත්‍යාග හා ප්‍රශංසා..

කීර්තිමත් ලෙස පොලිස් රාජකාරී ඉටුකිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හා පොලිස් රාජකාරියට සහය ලබා දී අපරාධයක් වැලැක්වීමට කටයුතු කරන ලද සිවිල් පුරවැසියන් දෙදෙනෙක් වෙනුවෙන් ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීමක් ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මැතිතුමාගේ හා පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.07.31 වන දින පැවැත්වුනි.

උත්සවය බත්තරමුල්ල, සුහුරුපාය, 14 වන මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර
ත්‍යාග ලබා දීම සිදු කරන ලද්දේ 2023.07.17 වන දින දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ලොරි රථයකින් හිංසාකාරී ලෙස ගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කරන ලද සැකකරුවන් ලබා දීමට උත්සාහ කල රු.100,000/= ක අල්ලස් මුදලක් ප්‍රතික්ෂේප කල දොරටියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු වන පො.සැ.39301 ඩී.එම්.එස්.කේ. දිසානායක හා පො.සැ.72248 එල්.ඒ.අයි.ජී.එච්.ලියනආරච්චි යන නිලධාරීන් වෙතයි.

සිවිල් පුරවැසියන් දෙදෙනෙක් හට ද ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම සිදු කරන ලද අතර 2023.07.23 වන දින දිවුලපිටිය පොලිස් වසමේ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවෙකු අල්ලා ගෙන සහය දැක්වීම සම්බන්ධයෙන් ඔවුන් අගය කිරීමට ලක් කෙරිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා, නියෝජ්‍ය පොලිස්පති වැඩබලන මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා, අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතා හා මාධ්‍ය කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.