2023 අන්තර් කොට්ඨාස වොලිබෝල් ශූරතාවය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට

උද්යෝගය, තරඟකාරීත්වය සහ පොලිස් නිළධාරීන්ගේ ජව සම්පන්න බව දින 05 ක් පුරාවට මනාව විදහා පාමින් සාර්ථකව පැවැත්වූ 2023 පොලිස් අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාවලිය දකුණු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සහභාගීත්වයෙන් 2023.08.11 වන දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.

පොලිස් කොට්ඨාස 60 කින් පිරිමි කණ්ඩායම් 64 ක් සහ කාන්තා කණ්ඩායම් 42 ක් සහභාගී වූ මෙම තරඟාවලියේ පිරිමි හා කාන්තා දෙඅංශයේම ජය බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය දිනාගැනීමට සමත් වූ අතර පිරිමි අනුශූරතාවය කොළඹ නාගරික රථ වාහන කොට්ඨාස කණ්ඩායමත්, කාන්තා අනුශූරතාවය අනුරාධපුර කොට්ඨාස කණ්ඩායමත් සතු විය.
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොලිස් කොස්තාපල් 79686 එන්.අයි.පී ටෙරන්ස් නිළධාරියා හා තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කාන්තා පොලිස් සාජන් 6105 චමරිකා නිළධාරිනිය නම් දරා හිමි ත්‍යාග දිනා ගන්නා ලදී.