ප්‍රජා පොලිස් කොට්ඨාසයෙන් දේවි බාලිකා සිසුවියන්ට හරවත් දේශනයක්.

2023 අගෝස්තු මස 03 වන දිනට යෙදී තිබූ 157 වන පොලිස් සංවත්සර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රජා පොලිස් කොට්ඨාසය සංවිධානය කරනු ලැබූ විශේෂ වැඩසටහනක් 2023.09.04 දින කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීය.

එම වැඩසටහන සඳහා දේවි බාලිකා විද්‍යාලීය සිසුවියන් 800ක් සමග එහි ගුරු භවතුන් පිරිසක් සහභාගී වූ අතර ප්‍රජා පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති වන ප්‍රවීන දේශක ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පුරා පැය 04 ක පමණ කාලයක් ප්‍රධාන දේශනය පවත්වමින් ප්‍රජා පොලිසිය, ළමුන්ගේ ආරක්ෂාව, මත්ද්‍රව්‍ය උවදුර, ළමා ආකල්ප, සමාජ ගැටළු, ළමුන් පිළිබඳ නීති වැනි මාතෘකා පාදක කරගනිමින්, ළමුන් සමග අදහස් හුවමාරු කරගනිමින් හරවත් දේශනයක් පැවැත්වූවේය.

මෙම අවස්ථාවට ප්‍රජා පොලිස් ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස්, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ භාර නිලධාරී නියෝජ්‍ය පොලිස්පතිතුමා වන එස්.එම්.වයි.සෙනෙවිරත්න, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව යන මහත්වරුන් ඇතුලු උසස් පොලිස් නිලධාරීන් සහභාගී විය.