නවක වදය පිටුදකින්න, සාක්ෂි සමඟ පැමිණිලි කරන්න WhatsApp අංකයක්.

දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල හා අධ්‍යාපනික ආයතන තුළ සිදුවන නවක වද ලබාදීමේ සිදුවීම් පිළිබඳව, පොලිස් විශේෂ කාර්යංශය තුල දැනට ස්ථාපිත කර ඇති 1997 කෙටි දුරකථන අංකය වෙත ඔබ කරනු ලබන පැමිණිලි මින් ඉදිරියට 076 – 5453454 දරණ WhatsApp පහසුකම් සහිත අංකය වෙත ඡායාරූප, හඬපට හා විඩියෝපටද සහිතව ලබාදීමේ හැකියාව ඇත.

එසේ ලබා දෙන තොරතුරු සහිත පැමිණිලි ලබාගැනීමට දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා පොලිස් විශේෂ කාර්යංශය එක්ව 2023.09.12 වන දින කොළඹ පිහිටි පොලිස් විශේෂ කාර්යංශ මුලස්ථානය තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී.

මෙම විශේෂ මෙහෙයුම් මැදිරියේ රාජකාරි ආරම්භ වූ සමාරම්භක උත්සව අවස්ථාවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු සුරේෂ් රාගවන් මැතිතුමා, අතිරේක සොලිසිටර් ජෙනරාල් රොෂාන්ත අබේසූරිය, විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ මහාචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර, මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති නිලධාරි නිතිඥ ආර්.ඊ අබේනායක, පොලිස් විශේෂ කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ ධනපාල හා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට යන මහත්වරුන් සහභාගි විය.

පැමිණිලි පිළිබද විමර්ශනය කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව තුළ පිහිටන විශේෂ ඒකකයක් මඟින් සිදුකරනු ලබයි.