“පවුර” සංසඳ සමගින් පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණය වීම වැළැක්වීමට දිවයින පුරා වැටලීම්

දිවයින පුරා පාසල් 10221 අතරින් පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හඳුනාගෙන තිබූ පාසල් 4983ක් අවට පසුගිය කාලය තුල ශ්‍රි ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම් සිදුකර පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කල සැකකරුවන් 517 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි එලෙස මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හඳුනාගත් සෑම පාසලක් ආශ්‍රිතවම අදාල පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් හා පාසල් අවට ශිෂ්‍ය ප්‍රජාව සහභාගී කරවා ගනිමින් “පවුර” සංසද කමිටු 5133ක් පිහිටුවා ඇති අතර එම කමිටු සාමාජිකයින් විසින් ලබා දුන් වාර්තා අනුව පාසල් 4876ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය සුලබතාවය පිලිබඳ පැවති අවදානම යම් දුරකට පහව ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

එසේම පාසල් 107ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අවදානම පවතින බවට “පවුර” සංසද කමිටු මගින් වාර්තා වී ඇති අතර එම පාසල් අවට තව දුරටත් මෙහෙයුම් සිදු කරන ලෙසටත්, ළමුන් නොමඟ යැවීමට පොළඹවන ස්ථාන ඇති බවට හඳුනාගෙන ඇති පාසල් 434ක් ආශ්‍රිතව ඉදිරි කාලය තුල මෙහෙයුම් සිදු කරන ලෙසටත් අදාල පාසල් පිහිටි පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.

පාසල් ආශ්‍රිතව දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් පිහිටවන ලද මෙම “පවුර” සංසද කමිටු තව දුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ.