පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී හිරිහැරයට,අතවරයට ලක්වූවාද? දැනුම් දෙන්න – 071 8595443 ( Whatsapp)

කාන්තාවන් සහ ළමුන් පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ලිංගික හිංසනයට, අතවරයට ලක්වීමේ සිදුවීම් සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය වෙත වාර්තා වී ඇති පැමිණිලි ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි පොදු ප්‍රවාහනය ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් ක්‍රිියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියළුම පොලිස් කොට්ඨාස වෙත උපදෙස් ලබාදෙන ලදී.

ඒ අනුව සියළුම පොලිස් ස්ථාන මගින් කාන්තා නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධරයන් 05 දෙනෙකු බැගින් වූ කණ්ඩායම් 2024.02.07 වන දින පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ හා දුම්රිය තුල සිවිල් ඇදුමින් අදාළ මෙහෙයුමෙහි යෙදවූ අතර එහිදී එම නිලධාරීන් විසින් එදින බස්රථ හා දුම්රිය තුල ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධව පුද්ගලයින් 18 දෙනෙකු, බස්රථ නැවතුම්පොළවල් වැනි වෙනත් ස්ථානවල එලෙස හැසිරුනු පුද්ගලයින් තිදෙනෙකු, ගැටකපන්නන් ලෙස සැකකරුවන් 05 දෙනෙකු, මත්ද්‍රව්‍ය භාවිතය මත පුද්ගලයින් තිදෙනෙකු සහ සැකපිට තවත් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

මෙම මෙහෙයුම් එදින සිට ඉදිරියටත් අහඹු ලෙස ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබන අතර ඊට සමගාමීව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය විසින් පොදු ප්‍රවාහන සේවය තුලදී සිදුවන ඕනෑම හිංසනයක් පිළිබඳව වීඩියෝ/ඡායාරූප දර්ශනද සමගින් දැනුම්දීමට හැකි වට්ස් ඇප් (Whatsapp) පහසුකම සහිත 071-8595443 දුරකථන අංකය ඔබ වෙත හදුන්වා දී ඇත.

මීට අමතරව ළමුන්ට හා කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධව දැනුම්දීමට, පැමිණිලි ලබාදීමට “109” කෙටි දුරකථන අංකයද පැය 24 පුරා ඔබ වෙත විවෘතව පවතී.