රාජකාරිය අතරතුර දිවි අහිමි වූ පොලස් සැරයන් 55457 ශ්‍රියන්ත නිලධාරියා උප පොලිස් පරීක්ෂක නිලයට, පොලිස්පතිතුමන් දේහයට අවසන් ගෞරව දක්වයි

මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි සිදුකළ පොලිස් සැරයන් 55457 ශ්‍රියන්ත නිලධාරියා තවත් නිලධාරීන් දෙදෙනෙකු සමඟ 2024.02.10 වන දින පැය 0055 ට පමණ බටේපොල සණස බැංකුව අසල රාත්‍රී ජංගම මුර සංචාර රාජකාරියේ යෙදී සිටියදී මාර්ගයේ ගමන්ගත් ත්‍රී රෝද රථයක් පරීක්ෂාකරීමට කටයුතු කර තිබේ.

එහිදී එම නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයා මුදල් ආරවුල් සම්බන්ධයෙන් ප්‍රදේශය මඟහැර ගොස් සිටි පොලිසියට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව හදුනාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයට නංවා ගැනීමට උත්සාහගෙන ඇත.
එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන් වෙත ප්‍රතිරෝදය පා පොරබැදීමක් සිදුකර පොලිස් සැරයන් ශ්‍රියන්ත නිලධාරියාගේ රාජකාරි රිවෝල්වර ගිනි අවිය උදුරාගනිමින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එම වෙඩි පහර පොලිස් සැරයන් ශ්‍රියන්ත නිලධාරියාගේ මුහුණ පෙදෙසට වැදී තිබේ.

සිදුවීමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන් 55457 ශ්‍රියන්ත නිලධාරියා ගම්පහ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර අසාද්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී 2024.02.11 වන දින පැය 1930 ට පමණ ජීවිතක්ෂයට පත්විය.
වයස අවුරුදු 51 ක් වූ මෙම මියගිය පොලිස් සැරයන් ශ්‍රියන්ත නිලධාරියා නො 160/ඒ ඉහල ලුණුගම ,මණ්ඩාවල ලිපිනයේ පදිංචි දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන අතර වසර 27ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරියෙකි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් එසේ රාජකාරි අතරතුර සිදු වූ අනතුරකින් දිවි අහිමි වූ මෙම නිලධාරියා 2024.02.12 දින පශ්චාත් උසස්වීම් ලබාදීමේ පදනම යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලද අතර 2024.02.13 වන දින දේහය තැන්පත් කර තිබූ ඉහත ලිපිනයේ නිවසේදී නිලධාරියාගේ දේහයට අවසන් ගෞරව දක්වා නිලධාරියාගේ සේවය අගයා පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් ලක්ෂ දහයක (රුපියල් 1,000,000/=) ක මුදල් චෙක්පතක්, කණිෂ්ඨ පොලිස් නිලධාරී සංගමයෙන් ලබාදෙන රු.125,000/= ක මුදල් චෙක්පත සහ මධ්‍යම සුබ සාධක සංගමයෙන් ලබාදෙන රු. 126,357/= ක මුදල් චෙක්පත නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් වෙත පිරිනැමීය.

තවද, නිලධාරියාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදුකිරීමටත්, නිලධාරියා වෙනුවන් ශ්‍රී ලංකා පොලිසියෙන් හිමි අනෙකුත් ප්‍රතිලාභ කඩිනමින් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පතිතුමන් එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදුනි.