ගංජා කිලෝග්‍රෑම් 486 ක් පානම පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට

පානම පොලිස් නිලධාරීන් විසින් 2024.02.25 වන දින උදෑසන පානම පොලිස් වසමේ රැනත්ත කන්ද ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබේ. එහිදී එම කන්ද පාමුල මඩුවක සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු පරීක්ෂා කිරීමට යාමේදී පුද්ගලයින් තිදෙනෙකු පලා ගොස් ඇති අතර එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු ගංජා පිරවූ උර 15ක් සහ කුඩා බෑගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ගංජා ප්‍රමාණයේ මුළු බර කිලෝග්‍රෑම් 486 කට අධිකය. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු පනාමුර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක් වන පුද්ගලයෙකු බව අනාවරණය කරගෙන ඇති අතර පලාගිය අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.