අභිනව පොලිස්පතිතුමන් පොලිස්පතිධූරයේ රාජකාරි නිල වශයෙන් අරඹයි

මෙරට නීතිය හා සාමය සුරැකීමට බැඳී සිටින ශ්‍රී ලංකා පොලිසිය සඳහා අවශ්‍ය විශිෂ්ඨ නායකත්වය ලබාදීමේ භාර්යදූර්ය වගකීම නිල වශයෙන් භාරගනිමින්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2024.02.29 වන අද දින උදෑසන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 36 වන පොලිස්පතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.

පොලිස්පතිතුමන්, පොලිස් සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධරයන්ගේ උත්තමාචාර මධ්‍යයේ පොලිස් මූලස්ථාන පොලිස්පති කාර්යාලය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතව මහාසංඝරත්නයේ සහ සර්වආගමික පූජකවරුන්ගේ ආශිර්වාද ලබමින් සුභ මොහොතින් රාජකාරි ආරම්භ කළ අතර, අනතුරුව මෙම කෙටි උත්සව අවස්ථාව සඳහා සපැමිණි සියලු පාර්ශව අමතා සිය අදහස් දැක්වීය.

එහිදී සිය පොලිස් දිවියේ විවිධ අභියෝගවලට මුහුණුදෙමින් මෙතෙක් පැමිණි ගමන්මග පිළිබඳව මතකාවර්ජනයක නිරතවූ පොලිස්පතිතුමන් මෙරටින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ තුරන්කිරීමේ මෙහෙයුම් තවදුරටත් ඉදිරියට වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවත් රාජකාරි ජීවිතයේ අභියෝග හමුවේ නොසැලී අභීතව ක්‍රියාකරනු ලබන ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ ශ්‍රේණියේ නිලධරයන්ගේ සිට සෑම තරාතිරමකම දක්ෂ නිලධාරීන් හට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලබාදෙමින් ශ්‍රී ලංකා පොලිස් සේවයේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කර සිටියේය.