“සුරක්ෂිත හෙටක්” ව්‍යාපෘතිය සඳහා සරසවි සිසුන්ගේ දායකත්වය

පාසල් දරුවන් මත් උවදුරින් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක වන “සුරක්ෂිත හෙටක්” ව්‍යාපෘතිය සඳහා විශ්වවිද්‍යාල සිසුන් බල ගැන්වීමේ වැඩමුළුවක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතාගේ සහභාගීත්වයෙන් 2024.03.01 වන දින කොළඹ විශ්වවිද්‍යාලීය සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 

ශ්‍රී ලංකා පොලිසිය, ජාතික තරුණ සේවා සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම  වැඩසටහන මඟින් විශ්වවිද්‍යාල සිසුන් පුහුණු කිරීමෙන් පසු පාසල් වලට යොමු කර මත්ද්‍රව්‍ය භාවිතයෙන් පාසල් දරුවන් මුදවා ගැනීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාස්ථානයේ පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් වැඩම කළ අතර,  සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන් සහ කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් පිරිසක් සහභාගී විය.