පොලිස් පෙරපාසැල් ගුරු මහත්මීන් සඳහා එක්දින පුහුණු පාඨමාලාවක්

පොලිස් පවුල් සුභසාධක සංගමය මගින් පාලනය වන පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය,කිව් පාර හා මරදාන පිහිටි ‘‘ටයිනි ටොට්ස්’’ පෙර පාසැල් ත්‍රිත්වයේ සේවයේ නියුතු ගුරු මහත්මින්ගේ සහ ප්‍රජා පොලිස් කොට්ඨාශය මගින් පවත්වාගෙන යනු ලබන බොරැල්ල ‘‘ලක්විදු’’ පෙරපාසලේ ගුරු මහත්මින්ගේ කුසලතා ඔප් නැංවීම සහ නායකත්ව ගුණාංග අභිපේරණය සිදු කිරීම අරමුණු කරගනිමින් එම මහත්මීන් උදෙසා එක් දින පුහුණු වැඩමුළුවක් 2024.02.24 වන දින පැය 0900 සිට පොලිස් පවුල් සුභසාධක සංගමයේ ප්‍රධාන ශාලාවේදි සාර්ථකව පැවැත්වුනි.

පොලිස් පවුල් සුභසාධක සංගමයේ සහ පොලිස් සේවා වනිතා ඒකකයේ වර්ථමාන සභාපතිණිය වන නීතිඥ අනුරාධා විජයවර්ධන මැතිණියගේ සංකල්පයකට අනුව SDTI විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍යය හා ප්‍රාථමික අධ්‍යාපන අංශයේ අංශ ප්‍රධානි තමාරා අමරාංගනී මහත්මියගේ මෙහෙය වීමෙන් පැවැත්වූ මෙම පුහුණු වැඩ සටහනේදී මුල් ළමාවිය සංවර්ධනයේ වැදගත්කම, උචිත ඉගෙනුම් ක්‍රමශිල්ප, ඉගැන්වීම් පරිසරයක් දරුවන්ට ඇති කිරීමේ වැදගත්කම, ගුරුවරියකගේ කාර්‍යයභාරය හා අභිපේරණය, තෘප්තිමත් ගුරුවරියක් වීම, ක්‍රියාකාරකම් මගින් දරුවන් අභිපේරණය, අභියෝගය වර්ධනය කිරීමට මනෝවිද්‍යා ක්‍රම ශිල්ප, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය පවත්වාගෙන යාම වැනි මූලිකාංග පදනම් කරගනිමින් පෙරපාසල් ගුරුවරුන් සඳහා ප්‍රායෝගික සහ න්‍යායික පුහුණුව ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සදහා පොලිස් පවුල් සුභසාධක සංගමයේ ලේකම් පි.විජේසූරිය, භාණ්ඩාගාරික හා අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජයන්ති ඒකනායක,සංගමයේ උප ලේකම් ෂාම් අන්වර් යන මැතිණියන් හා පොලිස් පවුල් සුභසාධක සංගමය හා පොලිස් සේවා වනිතා ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන සිරිලාල් මහතා සහ පෙරපාසැල් ගුරු මහත්මින් 17 දෙනෙකු සහභාගි විය.