“ඇයට ශක්තිය දැයට ප්‍රගතිය” ශ්‍රී ලංකා පොලිසියේ 2024 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය

සෑම වසරකම මාර්තු මස 08 වන දින සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය‍ මෙවරද සැමරුම් උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. එම සැමරුම් උත්සව මාලාවේ ප්‍රධාන උත්සවය ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සංවිධානයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන නාලන්දා විද්‍යාලීය මලලසේකර ශ්‍රවණාගාරයේදී අද (08) දින උදෑසන පැවැත්වීය.

පොලිස්පතිතුමන් මෙහිදී කාන්තාවන් විසින් සිදුකරන වෘත්තීය හා සමාජීය මෙහෙවර අගය කරමින් උත්සවයේ ප්‍රධාන කතාව පැවැත්වූ අතර මෙම අවස්ථාව සඳහා සපැමිණි ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් අධිකාරී නිලය හෙබවූ පලමූ කාන්තාව වන හිටපු කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රමිලා දිවාකර මහත්මිය වෙත සමරු ත්‍යාගයක් පිරිනැමීම සිදුකරන ලදී.

ඉන් අනතුරුව ප්‍රජා පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රවීණ දේශක ප්‍රධාන පොලිස් පරික්ෂක මනෝජ් සමරසේකර නිලධාරීයා විසින් ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, රෝහල් හෙද කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් ශ්‍රවණාගාරයේ අසුන්ගෙන සිටි නිලධාරිනියන් 600 ක පමණ පිරිස උදෙසා “කාන්තා ආරක්ෂාව හා නීතිය ” සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පැවත්වීය.

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත භාරව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, අපරාධ දිසාව හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධරයන් රැසකගේ සහභාගීත්වයද හිමිවූ අතර මෙය සාර්ථක ලෙස පැවැත්වීම සඳහා Pick me පුද්ගලික ආයතනය විසින් සාදර අනුග්‍රහය ලබාදෙන ලදී.