වසර 33 කට පසු ක්ලිෆර්ඩ් කුසලානය ශ්‍රී ලංකා පොලීසියට

ශ්‍රී ලංකා රගර් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ “2024 ක්ලිෆර්ඩ් අභියෝගතා කුසලාන පිළිමලුන් පිටු දැකීමේ රගර් තරඟාවලිය” අවසන් මහා තරඟය පොලිස් රගර් කණ්ඩායම හා හැව්ලොක් කණ්ඩායම අතර ඊයේ (09) දින කොළඹ තුරඟ තරඟ පිටියේදී  පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා ප්‍රධාන පෙලේ රගර් ක්‍රීඩා කණ්ඩායම් 07 ක් සහභාගී විය.

තරඟාවලියේ අවසාන මහා තරඟයේදී හැව්ලොක් කණ්ඩායම පරාජය කරමින් උප පොලිස් පරික්ෂක මොහාන් විමලරත්න මහතාගේ නායකත්වයෙන් යුත් පොලිස් රගර් කණ්ඩායම උත්සාහක දිනුම් 03 ක් සමඟ ලකුණු 19 ට 12 ක් වශයෙන් තරඟය ජයග්‍රහණය කර 1991 වසරේ පොලිස් පරීක්ෂක යටවර මහතා යටතේ ලබා ගත් ජයග්‍රහණයෙන් අනතුරුව මෙවර ක්ලිෆර්ඩ් අභියෝගතා කුසලානය වසර 33 කට පසු දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් රගර් ක්‍රීඩා සමාජය සමත්වුණි.

1950 වසරේ ආරම්භ වන ක්ලිෆර්ඩ් අභි‍යෝගිතා කුසලානය 1970,1972, 1973,1979,1980,1985 සහ 1991 යන වර්ෂවලද පොලිස් රගර් කණ්ඩායම විසින් දිනාගෙන ඇත.

මෙම අවසන් මහා තරඟයේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී විය.

පොලිස් රගර් කණ්ඩායමේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා, ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිෂාම් ජමාල්ඩීන් මහතා, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිලුෆ ඉබ්‍රහීම් මහතා සහ කළමණාකරු ලෙස පොලිස් පරීක්ෂක එස්.එම්.එස් සමරකෝන් යන මහත්වරුන් කටයුතු කරනු ලබයි.