ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීම සහ “107” හදිසි දුරකතන අංකය ජනගත කිරීම ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්

වව්නියාව සහ මන්නාරම පොලිස් කොට්ඨාසයන්හි ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.03.16 දින වව්නියාව පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහභාගි වූ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ඒ සඳහා සහභාගි විය.

මෙයට සමගාමීව පැය 24 පුරා ක්‍රියාත්මක “107” හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය වව්නියාව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී ආරම්භ කිරීමට කටයුතු කරන ලදි.

ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ සහ පොලිස්පතිතුමාගේ අදහසකට අනුව ගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම මත උතුරු නැගෙනහිර පදිංචි ද්‍රවිඩ ජනතාව මූලික කරගෙන ආරම්භ කළ මෙම”107″ හදිසි දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර ද්‍රවිඩ භාෂාවෙන් කටයුතු කල හැකි නිලධාරීන් මෙම මධ්‍යස්ථානයේ රාජකාරී යොදවා ඇත. මෙම හදිසි ඇමතුම් අංකය වෙත සිංහල භාෂාවෙන්ද පැමිණිලි හා තොරතුරු ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

මෙමඟින් උතුරු නැගෙනහිර පලාත්වල පදිංචි සහ එම ප්‍රදේශ වලට අවශ්‍යතාවයන් සඳහා පැමිණෙන ජනතාවගේ ජීවිත හා දේපල වලට තර්ජනයක් හෝ අනතුරක් පවතින හදිසි අවස්ථාවක දී මෙම හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය අමතා පොලිසියේ සහය ලබා ගැනීම සඳහා අවකාශය සැලසෙනු ඇත.

මෙම දුරකථන අංකය වෙත අපරාධමය ක්‍රියා හා අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් මෙන්ම බෙදා හරින්නන් පිළිබඳ තොරතුරු, පාරිසරික දූෂණ ක්‍රියා පිළිබඳ තොරතුරු, රිය අනතුරු, බරපතල මහජන පීඩා, ස්වාභාවික සහ මිනිස් ක්‍රියාකාරකම් මත සිදුවන විපත් ආදිය පිලිබඳ නිවැරදි තොරතුරු ලබා දීමට හැකියාව ඇත.

උතුරු නැගෙනහිර ජනතාවට කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් ලබා දීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන අතර මෙම දුරකථන මධ්‍යස්ථානය වෙත ලැබෙන සියළුම තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට කටයුතු කරනු ඇත.