අපරාධ කල්ලි සාමාජිකයන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් විසිරයයි

නීති විරෝධී ක්‍රම උපායන් මගින් ලාභ උපයමින් දිවයිනේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට සෘජු බලපෑමක් එල්ල කරනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම්වල සාමජිකයින් හඹා ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අණ පරිදි සූදානම් කල විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් 2024.03.19 වන දින සිට බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍රකරගනිමින් සක්‍රියව මෙහෙයුම් රාජකාරිවල නිරත වේ.

පොලිසියේ හා පොලිස් විශේෂ කාර්යය බලකායේ මනා අත්දැකීම් හා පුහුණුව ලද දක්ෂ තරුණ නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම් පොලිස්පතිතුමන් 2024.03.19 වන දින උදෑසන පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයට කැඳවා පූර්ණ වශයෙන් මෙම මෙහෙයුම පිළිබඳව දැනුවත් කල අතර අනතුරුව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී වැඩිදුර පරීක්ෂාවට ලක්කර උපදෙස් හා අවශ්‍ය සියලු පහසුකම් පිළිබඳව සොයා බලා මෙහෙයුම් සඳහා එකවර විසිර යවන ලදී.

මෙම අවස්ථාව සඳහා පොලිස්පතිතුමා සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා, අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා, අපරාධ දිසාව හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී විය

මත්ද්‍රව්‍ය ජාවාරම්, පලිගැනීම් සහ කප්පම් ලබාගැනීම වැනි හේතූන් මත අහිංසක මිනිස් ජීවිතද මි‍ලේච්ඡ ලෙස බිලිගන්නා සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් මෙන්ම විදෙස්ගතව සිට එම කල්ලි මෙහෙයවන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් එම ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත්මව ඉදිරියට ගෙනයනු ලබන අතර ඒ සඳහා සහය වෙමින් මත්ද්‍රව්‍ය සහ අපරාධකරුවන් සම්බන්ධව ඔබ ලබාදෙන තොරතුරුද අතිශය වැදගත් වී ඇත.

සිංහල සහ දමිළ භාෂා ද්විත්වයෙන්ම තොරතුරු ලබාදිය හැකි දුරකථන අංකය – 107
පොලිස් හදිසි ඇමතුම් අංකය – 119
යුක්තිය මෙහෙයුම් මැදිරිය – 071 8598800