කුඹුක්ගැටේ නව පොලිස් ස්ථානය විවෘතයි

කුරුණෑගල පොලිස් කොට්ඨාසයට අයත් කුඹුක්ගැටේ පොලිස් වසමේ ඉදිකල කුඹුක්ගැටේ නව පොලිස් ස්ථානය කසාගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ඉහල දොලොස්පත්තුවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රාස්තවේදී පූජ්‍ය මැල්සිරිපුර විමලරතන හිමිගේ අනුශාසකත්වයෙන‍්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.03.20 වන දින උදෑසන උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මින් පෙර පැවති කුඹුක්ගැටේ පොලිස් ස්ථානය එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් නිවසක කුලී පදනම මත ස්ථාපිත කර තිබූ අතර විධිමත් ලෙස පොලිස් ස්ථානය වෙනුවෙන්ම වෙන්වූ භූමියක ස්ථාපිත කිරීම සඳහා පූජ්‍ය මැල්සිරිපුර විමලරතන හිමියන් විසින් කලකට පෙර අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක් ලබා දී තිබේ.

අනතුරුව උන්වහන්සේගේ මගපෙන්වීම මත එම ප්‍රදේශයේ “එකමුතු ග්‍රාමීය සංවර්ධන සුභසාධක සමිතිය” මගින් සංවිධානය වූ ප්‍රදේශවාසීන් 2022 වර්ෂයේ නොවැම්බර් 25 දින ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැඩ අරඹා ඇති අතර ඔවුන්ගේ ශ්‍රමය, කැපවීම හා මූල්‍ය දායකත්වය සහ ධානපතීන්ගේ නොමසුරු ධන පරිත්‍යාගය මත පොලිස් ස්ථානය අංගසම්පූර්ණව නිම කර විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙත ප්‍රධානය කරනු ලැබීම විශේෂ අවස්ථාවකි.

උත්සව අවස්ථාව අතරවාරයේදී පූජ්‍ය මැල්සිරිපුර විමලරත්න හිමියන් නව පොලිස් ස්ථානය සහ එම භූමිය පොලිස්පතිතුමා වෙත ශ්‍රී ලංකා පොලිසිය භාරයට සන්නස් පත්‍රයක් මගින් පවරාදෙමින් අනුශාසනා ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු පූජක පක්ෂය, පොලිස්පතිතුමන් සමඟ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර් රත්නායක, පුත්තලම දිසාව නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උපුල් චන්දන අබේසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්, එකමුතු ග්‍රාමීය සංවර්ධන සුභසාධක සමිතියේ නිලධරයන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් සහභාගී විය.