160 වන පොලිස් විරු අනුස්මරණ දිනය අදයි

තම දිවි දෙවැනිකොට මව්බිමේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් රාජකාරියට එහා ගිය මහජන සේවයක් ඉටු කිරීමට ලබාදුන් දිව්රුම සපථ කර, ක්ෂේත්‍රයේදී සහ යුධබිමේදී රාජකාරිය අතරතුර මියගිය සහෘද පොලිස් නිලධරයන් සිහිකර අද දින (2024.03.21) දිවයින පුරා පොලිස් ස්ථානවල පොලිස් විරු අනුස්මරණ දිනය ගෞරවාන්විතව සමරනු ලබයි.

ශ්‍රී ලංකා පොලිසිය ව්‍යස්ථාපිතව පිහිටුවීමට දෙවසරකට පෙර, එනම් වර්ෂ 1864 මාර්තු 21 වැනි දින උතුවන් කන්දේ සරදියෙල් අත්අඩංගුවට උත්සහගැනීමේදී සරදියෙල්ගේ සහචරයෙකු වු මම්මල මරික්කාර් විසින් තබන ලද වෙඩි පහරකින් සබාන් නිලධාරියා මියයෑමෙන් වසර 117 කට පසුව එම නිලධාරියාගේ වීක්‍රමාන්විතය සිහිකර සෑම වසරකම උදාවන මාර්තු 21 වන දිනය පොලිස් විරු අනුස්මරණ දිනය ලෙසට නම්කර ඇත.
ඉන් අනතුරුව පොලිස් වීරභට නාමාවලියට අනුව රාජකාරීයේදී මියගිය පොලිස් නිලධාරියකු ලෙස වර්තා වන්නේ බොරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී 1894 වර්ෂයේදී ඝාතනයට ලක් වු පොලිස් කොස්තාපල් 289 කේ.තම්බි මුත්තු නිලධාරියාගේ මරණයයි.

එතැන් සිට මෑතකදී මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී මියගිය පොලිස් සැරයන් 55457 ශ්‍රියන්ත නිලධාරියා දක්වා පොලිස් රාජකාරිය ඉටුකරමින් සිටියදී ක්ෂේත්‍රයේදී මියගිය නිලධරයන් සංඛ්‍යාව 3157 කි. සදාකාලික අබාධිත තත්වයට පත්වූ නිලධරයන් සංඛ්‍යාව 44 කි.

තිස් වසරක යුධමය වතාවරණයට ශ්‍රී ලංකා යුධ හමුදාවට පසුව වැඩිම ජීවිත සංඛාවක් පරිත්‍යාග කල බළකාය වන්නේද ශ්‍රී ලංකා පොලිසිය වන අතර එහිදී මිය ගිය පොලිස් නිලධරයන් සංඛ්‍යාව 2598 කි. සදාකාලික ආබාධිත තත්වයට පත්වූ පොලිස් නිලධරයන් සංඛ්‍යාව 1575කි.

වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නායකත්වය යටතේ පොලිස් නිලධරයන් සංවිධානාත්මක අපරාධ ජාලය හා මත්ද්‍රව්‍ය ජාවරම් මැඩලීම ප්‍රමුඛ කර ගනිමින්, ඔබ අතරම ගැවසෙමින් සියළුම පොලිස් රාජකාරිවල අප්‍රතිහත ධෛරයකින් යුතුව මේ වන විටත් ජීවිත අවධානමකින් යුතුව නිරතවන අතර මේ දක්වා එලෙස රාජකාරි ඉටුකර ඔබ අත්විදින නිදහස උදා කිරීම උදෙසා දිවි කැප කල පොලිස් විරුවන් සදා නිරතුරු අනුස්මරණය කර ගෞරව දැක්වීමට කටයුතු කරන්නෙමු!