160 වන පොලිස් විරු අනුස්මරණය, පොලිස්පතිතුමන් රණවිරු ස්මාරකයට පුෂ්පඋපහාර දක්වයි

තම දිවි දෙවැනිකොට මව්බිමේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් රාජකාරියට එහා ගිය සේවයක් ඉටු කිරීමට ලබාදුන් දිව්රුම සපථ කර, සාමාන්‍ය පොලිස් රාජකාරියේදී, භීෂණ සමයේදී සහ යුධබිමේදී රාජකාරිය අතරතුර මියගිය,අබාධිත වූ සහෘද පොලිස් නිලධරයන් සිහිකර 2024.03.21 දින දිවයින පුරා පොලිස් ස්ථානවල පොලිස් විරු අනුස්මරණ දිනය ගෞරවාන්විතව සමරනු ලැබීය.

ප්‍රධාන සැමරුම් උත්සවය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී 2024.03.21 වන දින උදෑසන අභිමානවත් අයුරින් පැවැත්වූ අතර එහිදී පොලිස්පතිතුමන් විසින් පොලිස් උත්තමාචාර මධ්‍යයේ පොලිස් රාජකාරියේදී දිවි අහිමි වූ, අබාධිත වූ පොලිස් නිලධරයන් සිහිකර ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටුවා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පඋපහාර දක්වා, එම රණවිරුවන්ට ගෞරව පුදකරන ලදී.

මෙම අවස්ථාව සඳහා මියගිය නිලධරයන්ගේ පවුලේ සාමාජිකයින් 20 දෙනෙකු සහ ආබාධිත තත්වයට පත්වූ නිලධරයන් 30 දෙනෙකු සහභාගී කරගනිමින් පොලිස්පතිතුමන් ඔවුන් වෙත පොලිස් සුබ සාධක කොට්ඨාසය මගින් නිකුත්කල මූල්‍ය චෙක්පත් පිරිනමා  සුහඳ පිලිසඳරක නිරතවූ අතර ඔවුන් පොලිස්පතිතුමා සමගින් රණවිරු ස්මාරකය වෙත ගෞරව දැක්වීමද සිදුකරන ලදී.

විශාමික පොලිස්පතිවරුන් වන චන්ද්‍රා ප්‍රනාන්දු, ජයන්ත වික්‍රමරත්න,සී.ඩී වික්‍රමරත්න යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්,පොලිස් නිලධරයන්, පොලිස් විරු පවුල්වල ඥාතීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා මහත් ගෞරවයෙන් යුතුව එක්විය.