නව පොලිස් ඉන්ධන පිරවුම්හල විවෘතයි

නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාස පරිශ්‍රයේ ඉදිකල නව පොලිස් ඉන්ධන පිරවුම්හල විවෘත කිරීම 2024.03.21 වන දින උදෑසන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

නාරාහේන්පිට පොලිස් ගරාජයේ තිබෙන පැරණි ඉන්ධන පිරවුම් හලට අමතරව අද දින විවෘත කරන ලද මෙම නව ඉන්ධන පිරවුම් හල මඟින් කොළඹ ප්‍රදේශයේ දෛනික රාජකාරි සඳහා ගමන් ගන්නා පොලිස් රථ වාහන වලට අවශ්‍ය ඉන්ධන සැපයීම කාර්යක්ෂමව ඉටුකිරීමට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත ගෙන්වන ලද නවීන වාහන සඳහා අවශ්‍ය සුපර් ඩීසල් සහ ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් බෙදාහැරීම සඳහා අවශ්‍ය පහසුකම් මෙම ඉන්ධන පිරවුම්හල තුල ස්ථාපිත කර ඇති අතර දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයකට අනුයුක්ත කර ඇති වාහන සඳහා මෙම ඉන්ධන හලින් ඉන්ධන ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි මෙවැනි පොලිස් ඉන්ධනහල් ස්ථාපිත කිරීමට අපේක්ෂිතයි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රාජිත ශ්‍රී දමින්ද මහතා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රවාහන හා සංදේශ දිසාව මංජුල සෙනරත් මහතා, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා, නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථාන දිසාව බුද්ධික සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.