විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සංගමය ලක්ෂ 20 ක භාන්ඩ සහ උපකරණ පොලිස් රෝහල වෙත පරිත්‍යාග කරයි.

විශ්‍රාමික පොලිස් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සංගමය 2024.03.27 වන දින ශීතකරණ, විදුලි උදුන්, සැපපහසු මෙට්ට සහ රූපවාහිනී යන්ත්‍ර ඇතුළු වටිනා විදුලි උපකරණ රැසක් නාරාහේන්පිට පොලිස් රෝහල වෙත පරිත්‍යාග කරන ලදී.

එම සංගමයේ සභාපති විශ්‍රාමික නියොජ්‍ය පොලිස්පති ෆ්‍රැන්සිස් මහතා විසින් මිලියන 02කට අධික වටිනාකමකින් යුත් මෙම භාණ්ඩ සහ උපකරණ තොගය එදින නාරාහේන්පිට පොලිස් රෝහල් ශ්‍රවනාගාරයේදී, මෙම පරිත්‍යාගය පොලිස් රෝහල වෙත භාරගැනීම සඳහා පැවැත්වූ කෙටි උත්සව අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත නිල වශයෙන් භාර කළේය.

පොලිස් රාජකාරි සඳහා දිවා රැය කැප වන පොලිස් නිලධරයන්ට සහ ඔවුන්ගේ සමීප ඥාතීන්ට පොලිස් රෝහලේ සේවය ලබාගැනීමේ හැකියාව ඇති අතර පොලිස් රෝහලෙන් එම සේවය ලබාදෙන ආකාරය කාගේත් පැසසුමට ලක් වී ඇති බව පොලිස්පතිතුමන් මෙහිදී ප්‍රශංසනීයව අගය කලේය.
එමෙන්ම විශ්‍රාමික පොලිස් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සංගමය පොලිස් නිලධාරීන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඉටුකරනු ලබන උදාර මෙහෙවර ස්තූති පූර්වකව සිහිපත් කර ඉදිරයටත් මෙවන් මහඟු පරිත්‍යාගයන් සිදුකිරීමට අවශ්‍ය සහයෝගය, අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රාජිත ශ්‍රී දමින්ද මහතා, සුභසාදන දිසාව නියෝජ්‍ය පොලිස්පතිනි ඩබ්ලිව්.ජේ පද්මිණි මහත්මිය, පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.සී බමුණුආරච්චි මහතා ඇතුඵ පොලිස් රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් සහ ශ්‍රී ලංකා පොලිසියේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් සහභාගී විය.