“සුරක්ෂිත හෙටක්” සමාරම්භය කොළඹ අශෝක විද්‍යාලයෙන්

පාසැල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් මුදවා ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ ජාතික තරුණ සේවා සභාව හා ඒකාබද්ධව ආරම්භ කල “සුරක්ෂිත හෙටක්” ව්‍යාපෘතිය යටතේ පැවැත්වූ පළමු දැනුවත් කිරීමේ වැඩසටහන 2024.04.02 වන දින උදෑසන කොළඹ අශෝක විද්‍යාලයේදී පැවැත්විය.

මේ සඳහා පෙර පුහුණු කල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින් කොළඹ අශෝක විද්‍යාලයේ දරුවන් උදෙසා පංති කාමර 36 ක් තුලදී එකම කාල සීමාවක දැනුවත් කිරීමේ දේශන පැවැත්වූ අතර එම අවස්ථාව නිරීක්ෂණය සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාධිපති Marshal of the Air Force රොෂාන් ගුණතිලක මහතා සහ මෙම ව්‍යාපෘතිය ආරම්භකිරීමට මූලිකත්වය ගත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක්විය.

එහිදී එම දේශනයන්ට අදාළව මුද්‍රණය කල අත් පොතක්ද පාසල් ළමුන්ට ලබාදුන් අතර දේශන පැවැත්වූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට පොලිස්පතිතුමා විසින් සහතිකපත් ප්‍රධානයක්ද සිදුකරන ලදී.

අනතුරුව මෙම සමාරම්භක අවස්ථාව සඳහා එක්වූ පිරිස ඇමතූ පොලිස්පතිතුමන් යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ආරම්භකල සියලු වැඩසටහන් පිළිබඳව දැනුවත් කරමින් ඉදිරි අනාගතයේදී මෙරට මත්ද්‍රව්‍ය ඉල්ලුම තුරන් කිරීම මෙම “සුරක්ෂිත හෙටක්” ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව සඳහන් කලේය.

මෙම අවස්ථාව සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා, අශෝක විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මහත්ම මහත්මීන් , අධ්‍යාපන අමාත්‍යාංශයේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන් සහභාගී විය.

.