පොලිසිය සහ මධ්‍යම පරිසර අධිකාරිය අතර සාකච්ඡාවක්

පාරිසරික ගැටළු සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඒ සඳහා අවශ්‍ය සහය සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය සහ මධ්‍යම පරිසර අධිකාරිය අතර පැවති විශේෂ සාකච්ඡාවක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ කීර්ති ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.04.03 වන දින උදෑසන බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරී කාර්යාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි.

ප්‍රජා ඝෝෂා පාලනය, අධිකව දුම් පිටකරන රථවාහන සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම, රථවාහන නලා ශබ්ද පාලනය, පොලිතින් ඇතුළු අකාබනික සහ කාබනික කැලි කසල බැහැර කිරීම මෙන්ම පිලිස්සීම, නීති විරෝධී ලෙස පරිසර පද්ධති විනාශ කරමින් සිදුවන කැණීම් කටයුතු ඇතුළු විවිධ පරිසර ගැටළු විසදීමට පවත්නා නීතීය යටතේ උපරිම ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා කල අතර පරිසර ආරක්ෂාව සම්බන්ධව ඉදිරි වැටලීම් සහ දැනුවත්කිරීම් තවදුරටත් විධිමත්ව සක්‍රියව සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය එකඟතාවයන්ට එළඹුනි.

මහජනතාව විසින් යම් පරිසර ගැටළුවක් සම්බන්ධව මධ්‍යම පොලිස් අධිකාරිය විසින් හදුන්වා දී ඇති 1981 කෙටි දුරකතන අංකය අමතා සිදුකරන දැනුම්දීමකදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම පැමිණිල්ල සම්බන්ධව එම පැමිණිල්ල අදාල ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන බව මෙහිදී ප්‍රකාශ වූ අතර එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මකවීමට අවශ්‍ය උපදෙස් සියළු පොලිස් ස්ථාන වෙත ලබාදෙන බව පොලිස්පතිතුමන් ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රජා සංචාරක සහ ආයෝජන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසන්ග කරවිට මහතා, රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා, නියෝජ්‍ය පොලිස්පති නීති දිසාව රුවන් ගුණසේකර මහතා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් සහ මධ්‍යම පොලිස් අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් සහභාගී විය.