නාරාහේන්පිට පොලිස් රෝහලේ නවීකරණය කරන ලද වාට්ටුවක් විවෘත කෙරේ

පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ මූල්‍ය අනුග්‍රහයෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේ නවීකරණය කරන ලද වාට්ටු අංක 06 නිල වශයෙන් භාරදීමේ උත්සවය 2024.04.09 වන දින පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේදී සිදු කරන ලදී.

එහිදී පොලිස් පරික්ෂක සංගමය මගින් මෙම නවීකරණය කරන ලද වාට්ටුව සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 98කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ ඇතුළු උපාංග ලබා දීම  සිදු කරන ලදී. පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය මගින් පරීක්ෂක ශ්‍රේණියේ නිලධරයන් වෙත වාර්ෂිකව ලබා දෙනු ලබන දින පොත් මුද්‍රණය කිරීම සඳහා මෙම වර්ෂයේ වැය කිරීමට නියමිතව තිබූ මුදල් යොදා ගනිමින් මෙම වාට්ටුව නවීකරණය කිරීමේ කටයුතු හා වෛද්‍ය උපකරණ ලබාදීම සිදු කර ඇත.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සුභසාධනය උදෙසා පොලිස් පරික්ෂකවරුන්ගේ සංගමය මගින් සිදුකර ඇති මෙම ක්‍රියාව අගයමින් පොලිස්පතිතුමා විසින් මෙම විශිෂ්ඨ සේවය සම්බන්ධයෙන් එම සංගමය වෙත සිය ප්‍රශංසාව පිරිනමා ඇත. එහිදී ඉදිරියටත් මෙවැනි ආකාරයේ සුභසාධන කටයුතු සිදුකිරීමට පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ කමිටු සාමාජිකයින් විසින් තීරණය කර ඇති බවට සංගමයේ සභාපති පොලිස් පරීක්ෂක නීතිඥ ප්‍රගීත් ප්‍රේමසිරි මහතා විසින් ප්‍රකාශ කර  ඇත. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහයක සේවා) රාජිත ශ්‍රි දමින්ද මහතා, නියෝජ්‍ය පොලිස්පති (සුභසාධන දිසාව) ඩබ්ලිව්.ජේ පද්මිණී මහත්මිය, පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.සී බමුණුආරච්චි මහතා, අධ්‍යක්ෂ (වෛද්‍ය) වෛද්‍ය චාමේන්ද්‍ර රණසිංහ මහතා, පොලිස් පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පොලිස් පරීක්ෂක නීතිඥ ප්‍රගීත් ප්‍රේමසිරි මහතා හා එහි ලේකම් කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලනී දිසානායක මහත්මිය ඇතුලු රෝහල් වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි විය.