අතිගරු ඉරාන ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය නිමිත්තෙන් මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීම.

උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය විවෘත කිරීම සඳහා අතිගරු ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මැතිතුමා හා එම ආර්යාව ඇතුළු එරට රාජ්‍ය දූත මණ්ඩල පිරිසක් 2024.04.24 වන දින එක් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය. මෙහිදී අතිගරු ඉරාන ජනාධිපතිතුමා මත්තල ගුවන්තොටුපල වෙත පැමිණ එතැන් සිට උමාඔය උත්සව භූමිය දක්වා ගමන් කිරීමට නියමිතය.

එබැවින් එතුමා ගමන් කිරීමට නියමිත මත්තල, තණමල්විල, කුඩාඔය හරහා වැල්ලවාය, වැල්ලවාය සිට ඇල්ල මාර්ගයේ උමාඔය මංසන්ධිය දක්වා වූ ප්‍රධාන මාර්ගය පෙරවරු 0945 සිට පෙරවරු 1100 දක්වා වූ කාලසීමාව තුළ කොටස් වශයෙන් වාහන ගමනාගාමනය සඳහා වසා තැබෙන අතර එතුමා නැවත මත්තල ගුවන්තොටුපල වෙත පැමිණීමට නියමිත පස්වරු 1200 සිට පස්වරු 0100 පමණ කාලයද එම මාර්ගයම කොටස් වශයෙන් වසා තැබීමට කටයුතු කරනු ඇත.

එසේම කටුනායක ගුවන්තොටුපල සිට කොළඹ දක්වා වූ අධිවේගී මාර්ගයත්, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, ඩී.එස්. සේනානායක මාවත, විදුලි සංඥා මංසන්ධිය, හෝටන් පෙදෙස, ග්‍රීන්පාත්, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, සෙන් ඇන්තනීස් පාර, ගාලු පාර, ගාලු මුවදොර, ලෝටස් පාර පස්වරු 0200 සිට පස්වරු 0300 දක්වා කොටස් වශයෙන් සම්පුර්ණයෙන් වසා තබන අතර කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ප්‍රභූවරයා ගමන් කරන අවස්ථාවේ දෙපසටම වාහන ගමනා ගමනය සඳහා අවසර දෙනු නොලැබේ.

එසේම ලෝටස් පාර, බැංකු මාවත, කොල්ලුපිටිය දක්වා වූ ගාලු පාර සවස් කාලයේ ඉතා කෙටි වේලාවන් සඳහා විටින් විට සම්පූර්ණයෙන් වැසෙන අතර නැවත රාත්‍රී 2130 න් පසුව කොටුව සිට කොල්ලුපිටිය දක්වා වූ ගාලු පාරද ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගයද බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගි මාර්ගය දක්වාත් අධිවේගි මාර්ගය පෑලියගොඩ සිට කටුනායක දක්වාත් ප්‍රභූවරයා ගමන් කරන කාලසීමාවේ සම්පූර්ණයෙන් වසා තැබෙනු ඇත.

මෙම මාර්ග කොටස් වශයෙන් සහ සම්පුර්ණයෙන් විටින් විට වැසෙන අතර හෝටල්වල නතර වී සිටින විදේශීය සංචාරකයින් එසේම රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවය කරන කාර්ය මණ්ඩල, එම මාර්ගවල ස්ථිර පදිංචිකරුවන්ට අපහසුතාවයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා සියළුම මාර්ගවල රථවාහන නිලධාරීන් යොදවා ඇත. එසේම මෙම ප්‍රදේශවල ඉතා දැඩි ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව සහ සියළුම බුද්ධි අංශ ඒකාබද්ධව මෙම ආරක්ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක කරනු ඇත.

ඉහත සඳහන් කාලවේලාවන් වලදී මෙම මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන මෙන් මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටින අතර ඒ තුළින් පත්විය හැකි අපහසුතාවයන්ගෙන් වැළැකිය හැකියි. නමුත් මෙම මාර්ගවල රෝගියෙකු රැගෙන යාමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට දැනුම් දී අවශ්‍ය ගමන් පහසුව සලසා ගැනීමට හැකියාව පවතී.