අපරාධකරුවන් හඹා යන්න, අපරාධ මැඩලන්න නව පොලිස් ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩයක් ක්ෂේත්‍රයට

අපරාධකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා මෙන්ම අපරාධ වැලැක්වීම සඳහා කටුකුරුන්ද පොලිස් වි‌ශේෂ කාර්ය බලකා කඳවුරෙන් විශේෂ පුහුණුවක් ලද යතුරු පැදි 50 කින් යුත් පොලිස් ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩයක් 2024.04.25 වන දින උදෑසන එම පුහුණු කඳවුරේ පැවති උත්සව අවස්ථාවකින් අනතුරුව රාජකාරි සඳහා අනුයුක්ත කරන ලදී.

මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පතිතුමාගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාවේදී සාර්ථකව පුහුණුව ලද මෙම කණ්ඩයේ නිලධාරීන් 100 දෙනා සඳහා සහතිකපතක් සහ විශේෂ ලාංඡන ගරු අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් විසින් පිරිනමනු ලැබූ අතර දිවයිනේ සාමකාමී පරිසරයක් ඇතිකිරීම සඳහා යුක්තිය මෙහෙයුම යටතේ ගෙන යන වැඩපිළිවෙලෙහි සාර්ථක මෙහෙයුම් සිදුකිරීම සඳහා ඔවුනට අවශ්‍ය දිරිමත්කිරීම සහ උපදෙස් මෙහිදී ලබාදුන්හ.

බස්නාහිර පළාත හා දකුණු පළාත කේන්ද්‍රකරගනිමින් අපරාධ කල්ලි කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් සඳහා සමස්ථ දිවයිනම අවර්ණය වන පරිදි මෙම කණ්ඩය පොලිස් විශේෂ කාර්යය බලකාය සමඟ සම්මිශ්‍රණය කරමින් මෙහෙයුම් වල යෙදවීමට නියමිතය.

උත්සව අවස්ථාවෙන් අනතුරුව පුහුණුව අනුසාරයෙන් යුතුරුපැදි සහ අවි හැසිරවීමේ පළපුරුද්ද ප්‍රදර්ශනය වන සන්දර්ශනයක්ද පුහුනු නිලධාරීන් විසින් පවත්වනු ලැබීය.

විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ අපරාද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙම විසිරයෑමේ අවස්ථාව සඳහා සහභාගී වූහ.