අමතර කොටස් එක්කර සාදන යතුරු පැදි, ව්‍යාජ ලේඛණ සකසා අලෙවි කරන ජාවාරමක් වටලයි

ආනයනය කරනු ලබන යතුරුපැදි අමතර කොටස් යොදා ගනිමින් එකලස් කරනු ලබන යතුරුපැදි රජයට හිමි විය යුතු බදු මුදල් අහිමි කරමින් නීති විරෝධි ලෙස ව්‍යාජ ලිපිලේඛණ සකස් කර කුරුණෑගල, වාරියපොල හා මාස්පොත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අළෙවි කර පවත්වා ගෙන ගිය යතුරුපැදි අලෙවි කරනු ලබන ස්ථාන 03 ක් පානදුර මධ්‍යම වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් 2024.04.25 වන දින වටලා කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් 48CC හා මෝපෑඩ් වර්ගයේ යතුරුපැදි 41 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අලෙවි මධ්‍යස්ථානවල හිමිකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් මගින් මෙම යතුරුපැදි කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයන කරනු ලබන ව්‍යාපාරිකයෙකු විසින් යතුරුපැදි අමතර කොටස් ලෙස ගෙන්වා එකලස් කර මෙම අළෙවි මධ්‍යස්ථාන වෙත විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් යතුරුපැදි 41 වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම අළෙවි මධ්‍යස්ථාන අයත් වාරියපොල හා කුරුණෑගල පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කර ඇති අතර එම පොලිස් ස්ථාන මගින් ජාවාරම සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම ආයතනයන්ගෙන් මිලදී ගත් යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකි බවද ගැණුම්කරුවන් විසින් පෙන්වා දී ඇත.