ස්වයංක්‍රීය පද්ධතියේ සහයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

2024.01.06 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ ස්ථාපිත කල, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණය සහ පාලනය යටතේ පවතින ස්වයංක්‍රීය මුහුණ හදුනාගැනීමේ පද්ධතිය මගින් 2024.04.28 වන ඊයේ දින අළුයම ගුවන් තොටුපල වෙත පැමිණි මුල්ලේරියාව පොලිස් ස්ථානයට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවෙකු හදුනාගෙන තිබේ.

එම අවස්ථාවේදී ස්වයංක්‍රීය පද්ධතිය භාරව සිටින ඒකකයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී හඳුනාගත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 47ක් වූ කොටිකාවත්ත, අංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 ක් ලංකාවට රැගෙන ඒම සහ ජාවරම් කිරීම යන වැරදි සඳහා චෝදනා ලබා ඇති සැකකරුවෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ නමකින් සකස්කල විදේශ ගමන් බලපත්‍රයක්, ජාතික හැදුනුම්පතක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.