පොලිස් කොට්ඨාස පහක්. අවුරුදු උත්සවයක්, ක්‍රිකට් තරඟාවලියක්

පොලිස් මාධ්‍ය කොට්ඨාසය, අපරාධ බුද්ධි විශ්ලේෂන සහ නිවාරණ කොට්ඨාසය, වින්දිතයින් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය, අපරාධ වාර්තා කොට්ඨාසය සහ පොලිස් නිල සුනඛ කොට්ඨාසය යන පොලිස් කොට්ඨාස ඒකාබද්ධව සංවිධානය කල අළුත් අවුරුදු උත්සවයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, අපරාධ දිසාව සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතාගේ සහ ඉහත කොට්ඨාසයන්හි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්ගේ සහභාගීත්වයෙන් 2024.05.04 වන ඊයේ දින කෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩාංගනයේදී පැවැත්වුනි.

උත්සවයේ දර්ශනීය බාවය සහ උද්වේගකර බව ඉහල නංවමින් එම කොට්ඨාස අතර පිරිමි හා කාන්තා සීමිත පන්දු වාර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක්ද ඒ අතරවාරයේදී පැවැත්විය.

එහි පිරිමි කාණ්ඩයේ ජය වින්දිතයින් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය දිනාගත් අතර අනුශූරතාවය පොලිස් මාධ්‍ය කොට්ඨාසයට හිමිවිය.

කාන්තා කාණ්ඩයේ ජය අපරාධ වාර්තා කොට්ඨාසය දිනාගත් අතර අනුශූරතාවය පොලිස් නිල සුනඛ කොට්ඨාසයට හිමිවිය.
පිරිමි කඹ ඇදීමේ තරගාවලියේ ජයග්‍රාහකයින් වූයේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයයි. අනුශූරතාවය අපරාධ වාර්ථා කොට්ඨාසයට හිමිවිය.

කාන්තා කඹ ඇදීමේ තරඟාවලියේ ජයග්‍රාහකියන් අපරාධ වාර්තා කොට්ඨාසයයි. අනුශූරතාවය පොලිස් මාධ්‍ය කොට්ඨාසයට හිමිවිය.

මීට අමතරව කොට්ට පොර, සංගීත පුටු, විකට ඇදුම් ආදී අවුරුදු ක්‍රීඩා රැසකින් වර්ණවත් වූ මෙම අළුත් අවුරුදු උත්සවයට නිලධරයන්ගේ වයස අවුරුදු 10 න් පහල දරු දැරියන්ටද සහභාගී වීමේ අවස්ථාව උදාකර දී තිබුනි.

එහිදී සිය අදහස් දැක්වූ පොලිස්පතිතුමන් පොලිස් නිලධරයන්ගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රතිපාදන ඉහල නැංවීමට කටයුතු කරන බවත් ඉදිරි මාස කිහිපයේදී මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමයේ සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවනු ඇති බවත් ප්‍රකාශ කළේය.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇප කැපවන පොලිස් නිලධරයන් හට රාජකාරි බහුල වෙහෙසකර කාල සීමාවක, සාමය සතුට සිහිපත්කරන මෙරට ප්‍රධාන සංස්කෘතික උත්සවයට සමගාමීව මෙවැනි විනෝදකාමී අවස්ථාවක් සංවිධානය කිරීම මෙහිදී කාගේත් ප්‍රශංසාවට ලක්විය.