නව පොලිස් ස්ථාන 105 ක ස්ථානාධිපතිවරුන්ව විෂය භාර අමාත්‍යතුමා විසින් ආමන්ත්‍රණය කෙරේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව මහජනතාවගේ රාජකාරි පහසුව සහ නීතිය හා සාමය පවත්වාගෙන යාමට 2021 වර්ෂයේ මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා අලුතින් විවෘත කරන ලද නව පොලිස් ස්ථාන 105 ක ස්ථානාධිපතිවරුන් ලෙස පත් වූ නිලධරයන් ආමන්ත්‍රණය කිරීම ගරු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා විසින් 2022 ජනවාරි 10 වන දින පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකරන ලදී.

මෙහිදී අමාත්‍යතුමන් විසින් උපදෙස් දෙමින් පොලිසිය දේශපාලනීකරණය නොවිය යුතු බවත්, ස්ථානාධිපතිවරයෙකු වශයෙන් තමන්ගේ පොලිස් ස්ථානයේ නිලධරයන්ගේ සුභ සාධනය හා තම පොලිස් වසමේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා සේවය කළ යුතු බවට සඳහන් කරන ලදී.

එමෙන්ම තමාගේ රාජකාරිය තුළදී යහපත් චේතනාවෙන් යම් කිසි කාර්යයක් ඉටුකිරීමේදී සද්භාවයෙන් වැරදීමක් සිදුවුවහොත් තමා මෙන්ම පොලිස්පතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්තුමා එම නිලධරයන් වෙනුවෙන් පෙනී සිටින බවද වැඩිදුරටත් මෙහිදී සදහන් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධරයන් රැසක්ද සහභාගී විය.