158 වන පොලිස් අනුස්මරණ දිනය අභිමානවත්ව සැමරේ.

පොලිස් රාජකාරියේ යෙදී සිටියදී මියගිය පොලිස් විරුවන් ගෞරවාන්විතව සිහිපත් කරමින් 158 වන පොලිස් අනුස්මරණ දිනය සැමරීමේ ප්‍රධාන සැමරුම් උත්සවය 2022 මාර්තු 21 වන දින පෙරවරුවේදී බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඉදිකර ඇති පොලිස් විරු ස්මාරකය අභියසදී පවත්වන ලදී.

අපරාධ, මත්ද්‍රව්‍ය, රිය අනතුරු, දුසිරිත් මර්ධනය කර නීතිය හා සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් රාජකාරි කළ පොලිස් නිලධාරීන් අවස්ථා කිහිපකදීම ඝාතනයට ලක්විය. ඒ අනුව 1971 අප්‍රේල් කැරැල්ල, උතුරු නැගෙනහිරෙන් ආරම්භ වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය, 1988/89 වර්ෂ වල ඇති වූ භීෂණ තත්ත්වයන් නිසාද, සංවිධානාත්මක අපරාධ කල්ලි මඟින්ද සහෘද පොලිස් නිලධාරීන් රාශියක් ඝාතනයට ලක්විය.

මෙලෙස මියගිය පොලිස් නිලධාරීන් අතුරින් බහුතරයක් මියගියේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනිම වෙනුවෙන් අපරාධකරුවන්, වරෙන්තුකරුවන්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදීය. තවද මාර්ගබාධක වලදී, මුර සංචාර වලදී මෙන්ම දෛනික රාජකාරි වලදීද පොලිස් නිලධාරීන් ඝාතනයට ලක් වූ අවස්ථා තිබේ. එලෙස රාජකාරි කරමින් සිටියදී වික්‍රමාන්විතව මියගිය පොලිස් නිලදාරීන් සිහිකිරිම සදහා අද දින මෙම උත්සවය පවත්වන ලදී.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිතව සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී පොලිස් විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා පොලිස් විරු පවුල්වල සමාජිකයින් විසින් සිදුකරන ලදී. මෙහිදී පොලිස් විරු පවුල්වල සමාජිකයින් සඳහා විරුසරු කාඩ්පත් ප්‍රදානය කිරිමක්ද සිදුවිය.

මෙම අවස්ථාවට සුබසාධක, වෛද්‍ය සේවා හා ක්ෂේත්‍ර බලකා මුලස්ථාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති P.R.P. සේනානායක, සුබසාධක දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති W.J. පද්මිණී යන මහත්ම මහත්මින්ද පොලිස් විරු පවුල්වල සාමාජිකයින්, ආබාධිත පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධරයන් පිරිසක් සහභාගි විය.