“අපරාධ විමර්ශනයෙහි ඵලදායිතාවයට බලපානු ලබන විද්‍යාත්මක ක්‍රමවේද ග්‍රන්ථය” දොරට වඩි.

තෙල්දෙණිය පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් සේරම් මහතා විසින් රචිත “අපරාධ විමර්ශනයෙහි ඵලදායිතාවයට බලපානු ලබන විද්‍යාත්මක ක්‍රමවේද” යන මැයෙන් වූ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය මහනුවර/මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (27) මහනුවර මූලස්ථාන පොලිස් ස්ථාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ විමර්ශන කටයුතුවල ඵලදායිතාවය කෙරෙහි අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් හා අපරාධ විමර්ශනයන්ට අදාලව විද්‍යාත්මක සාක්ෂි යොදා ගැනීමේ හැකියාව පරීක්ෂා කිරීමේ නිලධාරීන්ගේ භූමිකාව සම්බන්ධයෙන් වූ කරුණු මෙම ග්‍රන්ථයෙහි ඇතුලත්ව ඇත.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් සේරම් මහතා 1999.06.13 වන දින උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් පොලිස් සේවයට එක් වී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර දක්වා ආ වසර 21 ක ගමන් මග තුළ ශ්‍රී ලංකා පොලීසියේ විවිධ අංශවල සේවය කරමින් හා ප්‍රංශය, ස්වීඩනය, මැලේසියාව, ඉන්දියාව යන රටවල අපරාධ විමර්ශන වැඩමුළු රැසකට සහභාගි වෙමින් ලද අත්දැකීම් සහ අපරාධ විද්‍යාව පිළිබඳව ලබාගත් අධ්‍යාපනික දැනුම මෙම ග්‍රන්ථය රචනා කීරිමට පිටුවහලක් වී ඇත.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පොලිස් කොමිසමේ හිටපු සභාපති කේ.ඩබ්. කරල්ලියද්ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ, පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් හේසිරි, මහනුවර කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක යන මහත්වරු ඇතුලු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.