Print this page

72 වන ජාතික නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය අභිමානයෙන් එක්විය.

‘සෞභාග්‍යමත් රටක් - සුරක්‍ෂිත දේශයක්’යන පාඨය තේමා කර ගනිමින් පැවති 72 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අති උත්කර්ශවත්ව 2020 පෙබරවාරි 04 දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍ර‍යේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස රුසියානු ජනරජයේ භූමී මෙහෙයුම් ප්‍රධාන ජනරාල් ඔලෙග් සාලියුකොව් (Oleg Salyukov) මැතිතුමා සහ එම මැතිණිය සහභාගී වූහ. තවද ආගමික නායකයින්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, විපක්ෂනායකතුමන්, කථානායකතුමන්, අගවිනිසුරුතුමන්, මැති ඇමතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්, වැඩබලන පොලිස්පතිතුමන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු රාජ්‍යත්‍රාන්තික නිලධාරීන් මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගි වූහ.

වසර 153 ක ප්‍රෞඩ ඉතිහාසයකින් හෙඹී ශ්‍රී ලංකා පොලිසියේ තේජාන්විත භාවය, ශක්තිය හා ඥාණය පිළිඹිබු කරමින් පොලිස් ලාංඡනය තුල නිර්මිත හස්තියා සිහිගන්වමින් ‟අභීත” හස්තියා අතිගරු ජනාධිපතිතුමන්ට උත්තමාචාර දැක්වීම සඳහා පෙළපාලියට එක්විය. 1873 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ පැරණිතම තූර්යවාදක කණ්ඩායම මෙන්ම 1948 වසරේ ප්‍රථම නිදහස් උළෙල වර්ණවත් කළ එකම ආරක්ෂක අංශ තූර්යවාදක කණ්ඩායම වන පොලිස් තූර්යවාදක කණ්ඩායමද, පෙළපාලියට එක්විය.

ශ්‍රී ලංකා පොලිස් බල ඇණියේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍ර‍සේකර මහතා කටයුතු කල අතර පොලිස් අධිකාරි තිස්ස විතානගේ අණ දුන් පිරිමි බල ඇණිය, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉනෝකා ලියනගේ අණ දුන් කාන්තා බල ඇණිය, සහකාර පොලිස් අධිකාරි ජානක ජයවර්ධන අණ දුන් පිරිමි බල ඇණිය සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දීපානී මැණිකේ අණ දුන් කාන්තා බලඇණියද පෙළපාලිය සඳහා එක්වෙමින් අතිගරු ජනාධිපතිතුමන් හට තම උත්තමාචාරය පිරිනමන ලදී.

අනතුරුව ‘නියතයි ජය’ තේමාව පාඨය කරගනිමින් 1983 වර්ෂයේදී ස්ථාපිත කරන ලද පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරි කීර්ති විජේසිංහ අණ දුන් පිරිමි බල ඇණිය සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දිලානි ලියනගේ අණ දුන් කාන්තා බල ඇණියද අතිගරු ජනාධිපතිතුමන් හට උත්තමාචාර දක්වමින් පෙළපාලියේ ගමන් කරන ලදී.